HOT

5/recent/ticker-posts

promo-container

Nasrudin Books

ශ්‍රී ලංකාවෙන් හමු වූ රුපියල් කෝටි 9000ක් වටිනා නිල්මිණ ලෝකයට ගෙන යයි

ශ්‍රී ලංකාවෙන් මෙ‍ෙතක් හමු වී ඇති විශාලතම නිල්මිණ දැන් ලෝකයට ඉදිරිපත් කර ඇති බව පසුගියදා එංගලන්තයේ ඩේලිමේල් පුවත්පත ප්‍රධාන සිරස්තලය යටතේ වාර්තා කළේය. ඉතාමත් දුර්ලභ ගණයේ ‘දම්පැහැති තරකා නිල්මිණ‘(Purple Star Sapphire) ක් වන එය ‘පිවිතුරු බිමේ විසිතුරු තරුව‘ (Star of Pure Land) කියා නම් කර ඇත. එය බරින් කැරට් 3,563 කි. මෙය ලෝකයේ මෙතෙක් ස්වාභාවිකව හමු වී ඇති ඒ වර්ගයේ විශාලතම නිල්මිණ ලෙස ද සැලකේ. තාරකා නිල්මිණෙහි විශේෂත්වය වනුයේ එහි මතුපිටට විහිදෙන දීප්තියෙන් බැබලෙන තාරකා ලක්ෂණයයි. මෙහිදී තරු පුංජයක් දැක ගත හැකිය. මේ තරු සටහන් මතු වන්නේ හරි මැදින් දීප්තියෙන් යුත් සමබරව විහිදෙන ඉරි වශයෙනි. 


‘පිවිතුරු බිමේ විසිතුරු තරුව‘ ('Star of Pure Land) කියා නම් කර ඇති ශ්‍රී ලංකාවෙන් හමු වූ වටිනා මැණික.

මෙය ලෝකයට ඉදිරිපත් කරමින් උපදේශක මැණික් විශේෂඥ අශාන් අමරසිංහ පැවසුවේ, “මේක මෙතෙක් හමු වී ඇති මේ වර්ගයේ විශාලතම නිල්මිණයි. තාරකා නිල්මිණක් ලෙස මෙහි මතුපිට පැහැදිලිව පෙනෙන දීප්තිමත් තරු හයක් දැක ගන්න පුලුවන්.“ කියාය. 

“මේ මැණිකෙහි වටිනාකම තවමත් නිශ්චිත කිව නොහැකියි.“ කියන අමරසිංහ මහතාගේ වි‍ශේෂඥ මතය අනුව මෙහි වටිනාකම අවම වශයෙන් පවුම් මිලියන 223ක්, එනම් ඇමරිකන් ඩොලර් මිලියන 300ක් (රුපියල් මිලියන 90,000ක්, එනම් කෝටි 9000ක්) පමණ වනු ඇත. මේ අනුව මෙය මෙතෙක් හමු වී ඇති වටිනාම මැණික ද විය හැකිය. අමරසිංහ මහතා මැණික හඳුන්වා දෙමින් කීවේ දැනටමත් ජාත්‍යන්තර මැණික් තක්සේකරුවන් විසින් මෙය ඩොලර් මිලියන 300ත් 400ත් (පවුම් 223ත් 298ත්) අතර මිලකට තක්සේරු කර ඇති බවයි. 


ලෝකයේ මෙතෙක් හමු වූ වටිනාකමින් වැඩි විශාලතම ‘දම්පැහැති තරකා නිල්මිණ‘. මේ මැණික කෙතරම් විශාල ද යන්න මේ අත සමග සසඳා බලා තේරුම් ගත හැකිය.

මේ මැණික හමු වී ඇත්තේ මැණික්වලට ප්‍රසිද්ධ, මැණික් නගරය (city of gems) ලෙසින් විරුදාවලිලත් රත්නපුරය ආසන්න ප්‍රදේශයකිනි. මේ සඳහා අයිතිකරුවන් කීපදෙනකු ම සිටින අතර ආරක්ෂක හේතූන් මත මෙම මැණිකෙහි අයිතිකරුවන් ප්‍රසිද්ධියට පත් කර නැත. මෙහි එක් අයිකරුවකු කීවේ මේ මැණික සොයා ගන්නා ලද්දේ 2023 වසරේදී බවයි. තවත් මැණික් ගණනාවක් සමග මෙයත් මිල දී ගෙන ඇති අතර පසුව පරීක්ෂා කර බැලීමේ දී මෙහි විශේෂත්වයක් ඇතැයි ඔවුන්ට ප්‍රත්‍යක්ෂ වූ බවයි. ඉන් පසු ඔවුන් රසායනාගාර දෙකකට ගෙන ගොස් පරීක්ෂා කර බලා ඇත. 

නිදසුනක් වශයෙන් මීට කලින් වැඩි මිලකට අලෙවි කළ කරට් 14.62ක් වන ඕපන්හයිමර් නිල් දියමන්තිය 2016 දී අලෙවි වූයේ ඩොලර් මිලියන 57.5 (පවුම් මිලියන 42.8) කටය. ඒ වගේ ම මෑත දී එනම් 2022 දී කැරට් 11.15ක් වූ විලියම්සන් පින්ක් ස්ටාර් අලෙවි වූයේ ඩොලර් මිලියන 57.7 (පවුම් මිලියන 43) කටය. ඒවා සමඟ සසඳා බලන විට මේ ශ්‍රී ලංකා මැණික කොතරම් දැයි සිතා ගැනීම ඔබට අපහසු නොවනු ඇත. 

 - පර්සි ජයමාන්න 


 

 

අදහසක් පළ කරන්න

0 Comments